මීහරක් වැඩපිළිවෙලක් ගැන එස්.බී කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ප්‍රායෝගික වශයෙන් පොදු ජන පෙරමුණට ලැබී අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

අද(26) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වු අපහාස නඩුවක් සම්බන්ධයෙන් පෙනී සිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ වමේ දේශප්‍රේමී පක්ෂවල කැමැත්තෙන් බවත්, එය නිවැරදි තීරණයක් බවත් පැවසු මන්ත්‍රීවරයා ඉතිහාස ගත වන ජයග්‍රහණයක් හිමි කර ගන්නා බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටි තලය සම්පුර්ණ වශයෙන්ම පොදු ජන පෙරමුණ සමඟ එකතු වී අවසන් බවත් පැවසු මන්ත්‍රීවරයා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතුරුව ඇත්තේ තීරණයක් ගැනීම පමණක් බවත් පැවසීය.

වමේ පෙරමුණක් පතන පුද්ගලයින් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කාලයක් පුරා එම පෙරමුණේ ප්‍රධාන පක්ෂය ලෙස සිටි බවත් පැවසු මන්ත්‍රීවරයා, අද ඒ තැන පොදු ජන පෙරමුණ ලබා ගෙන ඇති බවත් කියා සිටියේය.

එවැනි දෙයක් සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුව සෑදු නිසා බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් තමාගේ නායකත්වයෙන් විශාල වෙහෙසක් දරා මෛත්‍රී හා මහින්ද එකතු කරලා රනිල්ව එළියට දමා නව ආණ්ඩුවක් සෑදු බවත් පැවසීය‍.

ඒ ආණ්ඩුව රැක ගැනීමට නොහැකි වු නමුත් ඒ උත්සහය ජයග්‍රහණය කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ හේතුවෙන් මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් ආණ්ඩුවෙන් එළියට පැමිණි බවද සඳහන් කළේය.

වමේ ප්‍රධාන පක්ෂය අද වන විට පොදු ජන පෙරමුණ බවත්, එම පක්ෂයේ සභාපති ලෙස වමේ අධ්‍යාත්මික නායකයා බවට පත්ව ඇති මහින්ද රාජපක්ෂ මහතා පත්වු බවත්, ඔහුට සුබ පැතීමට යන එක මනුෂ්‍යකම වන බවත් පැවසීය.

එම අවස්ථාවට එක් වීම වැරදි යනුවෙන් සිතූ පක්ෂයේ සහෝදරවරුන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භෝජන සංග්‍රහට එක් වු බවත් කියා සිටියේය.

දුප්පත්කම වැඩි වෙලා නැති බවත්, ඡන්දය බලා ගෙන ඇතැමුන් සල්ලි බෙදන බවත් පැවසු මන්ත්‍රීවරයා, “එය මීහරක් වැඩපිළිවෙලක්“ යනුවෙන් ද එස්.බී.දිසානායක මහතා කියා සිටියේය.

මෙම සමෘද්ධි අමාත්‍යාංශය අද වන විට බාර දී ඇත්තේ පොලී මුදලාලි කෙනෙක්ට බවත් පැවසු මන්ත්‍රීවරයා, සමෘද්ධිය කිසි විටෙකත් වැට්ටිය නොහැකි බවත් එයට විශාල බලයක් ඇති බවත් තම ආණ්ඩුවක් යටතේ එය නිවැරදි කරන බවත් පැවසීය.

Read more

Local News