එජාපය බංකොලොත් වෙලාද ?

Share

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය වර්ථමනයේ ඉතාමත්ම පැහැදිලිව දැක ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතිමන් ඒ මහතා මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් වීම එක්සත් ජාතික පක්ෂයට බරපතළ අභියෝගයක් බව පැහැදිළිව පෙනෙන බව පැවසු ඒ මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ විශාල ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන බවයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තර්ක නගමින් ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට ප්‍රකාශ කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිද වැඩිදුඑටත් අදහස් දැක්වු මහාචාර්ය ජී එල් පීරිස් මහතා,

“ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට විශාල අභියෝගයක් හැටියට ඔවුන් පිළිගන්නවා. මෙයට මුහුණ දීමේදී දේශපාලන තර්ක ඉදිරිපත් කරනවා වෙනුවට ව්‍යාජ නීති තර්ක ඉදිරිපත්  කිරීම තුළින් නැති ප්‍රශ්න හදලා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වීමට සුදුසු කමක් නැහැ කියනවා.

තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙක් බවට ඔවුන් තර්ක කරනවා. ඒ නිසා ඔහුට ජනාධිපති අපේක්ෂකවරයෙක් වීමට නීතිමය හැකියාවක් නැහැ කියලා ඔවුන් තර්ක කරනවා. මෙය සම්පූර්ණයෙන්ම බොරුවක්. එය අසත්‍යයක් බව ඔප්පු කිරීම සඳහා සියලු සාක්ෂි අප සතුව තිබෙනවා.

අප්‍රේල් දාහත් වැනි දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි  සියල්ලක්ම ඇමරිකාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා.

ඔවුන් එයට පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූවා එතුමාගේ ඒ ඉල්ලීම පිළිගන්නවා කියලා ඇමරිකාව  ඉදිරිපත් කළ  අදාල ලියවිලි අද අපි ළඟ තියෙනවා.

එපමණක් නොවේ.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා  විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තා. එහි තිඛෙනවා එතුමා ද්විත්ව පුරවැසිභාවයක් දරන්නේ නැහැ කියලා.  ඔහු හුදෙක් ශ්‍රී ලංකා පුරවැසියෙක් පමණයි. එම විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ  ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණයි.

දැන් එක්සත් ජාතික පක්ෂයේ අය ජනතාව නොමඟ යැවීම සඳහා භාවිතා කරන තර්කය තමයි ඇමෙරිකානු  එක්සත් ජනපදයේ මාස තුනකට සැරයක් නිකුත් කරන ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම සඳහන් වෙලා නැහැ කියන එක. මේවා සම්පූර්ණයෙන්ම වැරදි තර්කයක්.ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පැහැදිලිව සඳහන් කළා සමහර වෙලාවට ඒ ලයිස්තුව නිකුත් වීමේදී වීමේදී මාස ගණනාවකට පස්සෙ වුණත් නම් ඉදිරිපත් කළ හැකියිි කියලා.

ඇතැම් විට කෙනකුගේ නමක් එම ලැයිස්තුවට ඇතුළත්වීම සඳහා අවුරුද්දක් වැනි කාලයක් ගතවන අවස්ථා ද අප දැක තිඛෙනවා. එම ලයිස්තුව ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සඳහා අත්‍යවශ්‍ය පියවරක් නොවෙයි කියලා අපි පැහැදිලිව  කියනවා. ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීමේ දී  එම ලැයිස්තුව මිනුම් දණ්ඩක් හැටියට භාවිතා කළ හැකි වන්නේ නැහැ.

ආරම්භයේදීම තමන්ගේ අපේක්ෂකයන් තෝරා ගැනීමට නොහැකි පක්ෂයක් මේ විදියට තර්ක ඉදිරිපත් කිරීම පිළිබඳව අප කනගාටුවට පත් වෙනවා.

අප ඉතා වගකීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සම්පූර්ණයෙන්ම ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමට නීතිමය හැකියාව සහ අයිතිවාසිකම තිඛෙන බව.

එතුමාට විරුද්ධව යම් යම්කිසි ප්‍රචාරණයක් නැගෙනවා නම් එය සිදු කළ යුත්තේ දේශපාලන තලයෙන් පමණයි. නැති නීති ප්‍රශ්න නිර්මාණය කරලා නෙවෙයි.ඒකෙන් මේ රටේ ජනතාව රවට්ටන්න කොහොමවත්ම පුළුවන් වන්නේ නැහැ.ඊට වඩා මෝරපු බුද්ධියක් සහිත අත්දැකීම් තිඛෙන ජනතාවක් අද අපේ රටේ ඉන්නවා.”

Read more

Local News