අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Share

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද(27) පෙනී සිටීමට නියමිතව තිබේ.

පෙරවරු 09.00ට එහි පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට නොතීසි නිකුත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇති බව සඳහන් වෙයි.

අදාල ගොඩනැඟිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය  ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජිවක ඖෂධ ගෙන්වීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ඔහු පෙනී සිටීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

Read more

Local News