බන්දුලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණි.

ඉන් එක් පෙත්සමක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාර බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා වෙත පැවරී ඇති බලතල නීතිවිරෝධි ලෙස පැහැර ගැනීමක් සිදු වන බවයි.

මීට අමතරව දකුණු පළාත තුළ තිබෙන කෘෂිකාර්මික ඉඩම්, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉඩම් සහ ආගමික
සිද්ධස්ථාන ද අත්පත් කර ගැනීමේ අත්තනෝමතික බලතල යෝජිත පනත් කෙටුම්පත තුළ යෝජනා කර තිබෙන බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කාර බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාළ පනත් කෙටුම්පත අභියෝග කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය වෙනුවෙන් නීතීඥ
ප්‍රේම්නාත්.සී.දොලවත්ත මහතා විසින් ද තවත් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read more

Local News