මට වටින්නේ බලය සිටින අය දෙන පොරොන්දු

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ  ප්‍රකාශ කර සිටිති.

මෙරටට පැමිණි ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිතුමන් සමඟ ඊයේ (27)  ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ කාදිනල් හිමිපාණෝ මේ බව ප්‍රකාශ කළහ.

එහිදි මාධ්‍යවේදියෙකු  විසින් තමන් බලයට පැමිණි පසු කොමිෂන් සභාවක් පිහිටුවන බවට පොරොන්දු දි තිබෙන බවත් ඒ සම්බන්ධව කාදිනල් තුමාගෙන් විමසු අවස්ථාවේ කාදිනල් හිමියෝ මෙසේ පැවැසුහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධින කොමිෂන් සභාවක් පිහිටුවන බවට ප්‍රකාශ කළත් ඒවා පොරොන්දු  පමණක් බවත්  බලයක් නොමැති අය දෙන පොරොන්දු වලට වඩා තමන් වහන්සේට වැදගත් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ බවද උන්වහන්සේ එහිදි පැවසුහ.

කිසිදු දේශපාලන පක්ෂයට පක්ෂව කතා කරන්නට තමන් වහන්සේ සූදානම් නොමැති බවත් ඒ සම්බන්ධ විනිශ්චය ජනතාව විසින් ගනු ලබනු ඇති බවත් පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධියෙන් පීඩාවට පත්වූ ජනතාවගේ  හදවත් යම් ප්‍රමාණයකට හෝ සනසන්න නම් මේ සිදුවිමේ සත්‍යය රටට හෙළිදරවු  විය යුතු බවත් එය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කාදිනල්තුමනි ඇයි අපට මෙහෙම දෙයක් කළේ කියා ඒ ජනතාව තාමත් විමසන බවත් එක් එක් අය මේ සම්බන්ධයෙන් අරක කරනවා මේක කරනවා කිව්වට ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත්  බලයේ සිටින පිරිස් මේ සම්බන්ධයෙන් ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ  පැවසුහ.

මැතිවරණය පැවැත්විමට පෙර මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බවත් මේ සම්බන්ධව ජනපතිට ලිපියක් යොමු කළත් සුභවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් දැන් හැමෝගෙම අවධානය යොමුව තිබෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධව බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Read more

Local News