හෙරොයින් ලඟ තබා ගත් වරදට නියම වු දඬුවම

Share

වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.44 ක්  සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එම බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි නිරංජය කුමාර නැමැති සිරකරුවකුට මෙසේ දඬුවම් නියම විය.

2012 වසරේ මාර්තු මස 3 වනදා පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.44 ක් සමග මෙම සිරකරු අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන්පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කර සිටියේ මෙම චෝදනාවලට වරදකරු කරන බවයි.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා නියම කළේය.

මෙම විත්තිකරුට පෙර වැරදි නවයක් පවතින බවට ද නඩු විභාගයේදී අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.

Read more

Local News