ජනාධිපතිවරු බදු මුදලින් නඩත්තු නොවිය යුතුයි

Share

මෙරට සුළුබෝග වගා ගොවීන්ගේ ජන ජීවිත ආරක්ෂා කරමින් ඔවුන්ගේ වගාවන්ට ස්ථාවර ඉහළ මිලක් ලබා දීමට නොවැම්බර් මාසයේදී බිහිවන නව රජයක් යටතේ තමන් කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගෙපොළ, හටංගල ඉදි වූ “සහිරුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (29) දින සහභාගී වෙමිණි.

මහජන බදු මුදලින් නඩත්තු වන ජනාධිපතිවරයෙකු වීමට තමන් කිසිවිටක සුදානම් නොමැති බවත්, තමන් මන්දිර දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර මහපොළොවට පයගසා වසරේ දින 365 පුරාම සහ පැය 24 පුරාම ජනතා සේවයට ඇප කැප වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දේශපාලඥයින් භාවිතා කරන වායුසමනය කළ කාමරවල ජල සහ විදුලි බිල්පත් ගෙවනු ලබන්නේ මෙරට ජනතාවගේ බදු මුදලින් බවත්, දේශපාලඥයින් තීන්දු තීරණ ගන්නා විට ජනතාවගේ දුක කඳුළ වේදනාව අවබෝධ කර ගනිමින් ජන හිත සුව පිණිස කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

තමන් කිසිවකුගේ මුදලට හෝ වෙනත් වරදාන වරප්‍රසාදවලට ගිජු නොවන බවත්, තමන්ව දේශපාලන ඉත්තෙකු බවට පත් කර ගැනීමට කිසිවකුට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“සහිරුගම” උදා ගම්මානයේ ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 23 කි.

මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 374 කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විත වේ.

මීට සමගාමීව නිවාසලාභීන් 23 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 115 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 54 කට රුපියල් ලක්ෂ 108 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ප්‍රතිලාභීන් 22 ක් සඳහා රුපියල් ලක්ෂ 106 ක් වටිනා ‘ග්‍රාම ශක්ති නිවාස ආධාර’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 80 දෙනෙකුට රුපියල් ලක්ෂ 40 ක් වටිනා ප්‍රතිලාභ සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 60 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News