සුළං තත්ත්වයේ වැඩිවීමක්

Share

දිවයින හරහා විශේෂයෙන් දකුණු සහ උතුරු-මැද පළාත්වලත් සහ රත්නපුර, කළුතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

මේ අතර අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවත් අද (30) දහවල් 12.12ට කුදිරමලේ තුඩුව, මැදවච්චිය, රත්මල්ගහවැව, කුලුමීවාකඩ, කප්පල්තුරය සහ ෆවුල් පොයින්ට් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News