මහින්දානන්දගේ නඩුව ඔක්තෝබර් 4 යළි කැඳවයි

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 4 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආර්. ගුරුසිංහ මාතා අද(30) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එහි සාමාජික විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාළ ලේඛන අඩංගු ගොනු කීපයක් විත්ති  පාර්ශවය වෙත ලබා දුන්නේය.

අනතුරුව නඩුව ඔක්තෝබර් මස 4 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට නියමිත නඩුවක් බැවින් විත්තිකරුවන්ගේ  පැමිණීම ඉතාම අනිවාර්ය සාධකයක් වන නිසා අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන්ට විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු දක්වමින් අද දින ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සභාපති විනිසුරු වරයා නඩුව කටයුතුවලට සහභාගී නොවන හෙයින් ඉල්ලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සුදුසු බව සඳහන් කළේය.

ඒ අනුව එම ඉල්ලීම ඔක්තෝබර් මස 4 වන දා සලකා බලන බව ද විනිසුරු වරූ නියම කලා.

2014 වසරේ සැප්තැම්බර් මස පල වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර තිබේ.

Read more

Local News