අලි රොෂාන්ගේ නඩුවේ මූලික විරෝධතා පිළිබඳ කරුණු විමසීම සැප්තැම්බර් මස දී

Share

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතා පිළිබඳ කරුණු විමසීම සැප්තැම්බර් මස 18 වැනිදා සිදුකරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව අද (30) විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත වන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

ඒ අනුව එම මූලික විරෝධතා සැප්තැම්බර් මස 18 වනදා ඉදිරිපත් කරන ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන් ට නියම කළේ.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත් වෙයි.

Read more

Local News