අකිල ජනපති කොමිසමට කැඳවයි

Share

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබදව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ජනාධිපති කොමිෂන් සභාව විසින් ඊයේ  සිදුකර ඇති අතර එහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී ඇති බව සඳහන්.

පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාට පෞද්ගලිකවම කතා කර ඔහුගේ ජායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සියලුම පෙළපොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම්දුන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ ඡායාරූපය සහිත පිටුවක් පෙළපොතක් සදහා ඇතුළත් කිරීමට රුපියල් 4ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ රුපියල් කෝටි 4ක පමණ පෙළපොත් මුද්‍රණය කර ඇති බවත් ඊයේ අනාවරණය වූ බව ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News