මටත් තිබුණා ගමේ ඉදන් රැකියාවක් දෙකක් කරන්න

Share

දරුවා විෂය ප්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණවලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (02) කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

2019 ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම් කරුවන් අතරින් පළමු වටය සඳහා 587 දෙනෙකු සඳහා මෙලෙස ගුරු පත්වීම් ප්‍රදානය කෙරිණි.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උගත් සමාජයක් බිහිකර, සියලූ දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණ බවයි.

ගුරු භූමිකාවේ පෞරුෂත්වයත්, විශ්වාසයත්, පැවැත්මත්, තහවුරුවීමට නම් තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම ද ඊට අනුසාරීව යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වින් ඒ මහතා කියා සිටියේ අද සිටින තරුණ පිරිස් රැකියා අවස්ථාවන් තමන් පදිංචි ප්‍රදේශයෙන්ම සොයා ගැනීමට උත්සාහ ගන්නා බවයි.

” අපි තරුණ කාලේ රස්සාවක් දුන්නාහම ලොකු උත්සාහයක් ගන්නේ පුළුවන් තරම් ගෙදරින් ඈත ඉන්න. ඒක අලුත් අත්දැකීමක්.

මම රැකියාවල් 3ක් කරලා තියෙනවා රැකියාවල් 3න්ම ඉල්ලා අස් වුණා.

මටත් තිබුණා ගමේ ඉදන් රැකියාවක් දෙකක් කරන්න.

නමුත් මගේ ඉල්ලීම තිබුණෙ පුළුවන් තරම් පොළොන්නරුවෙන් ඈතට දෙන්න කියලා.

අද ගුරු වෘත්තියේ නෙවේ රාජ්‍ය සේවයේ පත්වීමක් දුන්නත් ගෙදර ඉදලා යන්න බැරිනම් පත්වීම ප්‍රතික්ෂේප කරනවා.”

ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් දහදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Read more

Local News