ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව විභාගයට ගැනීම නොවැම්බර් මසදී

Share

ශනිල් නෙත්තිකුමාර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 08 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසත් ඒ අනුව එදින සාක්ෂිකරුවන් කැඳවීමේ සිතාසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 8 වනදා ආරම්භ කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක ලෙස නම් කර සිටින අනිකා විජේසූරිය, ඇයගේ සොහොයුරු විජේසූරිය ඇතුළු තිදෙනෙකු වෙත එදින අධිකරණයේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා දුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සොහොයුරා වූ විජිත් විජේසූරිය නැමැත්තාට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ශනිල් නෙත්තිකුමාර නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News