කළුතරට නව වෙළෙඳ කලාපයක් – අගමැති

Share

තායි රජයේ විශාල සමාගමක් විසින් කළුතර ප්‍රදේශයේ වෙළඳ කලාපයක් ඇතිකිරීමට අක්කර 700 – 800 පමණ ඉඩම් ප්‍රමාණයක් ඉල්ලා ඇතැයි ද ඒ හරහා ආසියාවේ තිබෙන විශාල ම කර්මාන්ත ශාලා එම ස්ථානයට රැගෙන ඒම ඔවුන්ගේ අරමුණ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු 4000ක් බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එමෙන් ම මීට මාසයකට පමණ පෙර හම්බන්තොට වරාය දියුණු කිරීමට චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් අනාගතයේ නැව් එන හොද වරායක්, ගුවන් යානා එන හොඳ ගුවන්තොටුපලක් හම්බන්තොට ප්‍රදේශයේ ඇති වන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
බෙන්තර, ඇල්පිටිය, කරන්දෙනිය ආදී ප්‍රදේශවල 4000ක පමණ පිරිසකට අද ඔප්පු ලබාදීම සිදුකරනවා. තම ඉඩමේ අයිතිය ඔබට ලැබෙන පළමු පියවර මෙයයි. මෙතෙක් කල් ඔබ ජීවත්වුනේ ඉඩමේ අයිතිය පිළිබඳ ව කොළ කෑල්ලක්වත් නොමැතිවයි. එම අයිතිය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට මේ අමාත්‍යාංශය සුදුසුම පුද්ගලයා වෙත අප භාර කළා. ඒ අනුව මුළු රටේම ඔප්පු නොමැති පුද්ගලයන්ට එළඹෙන වසර දෙක තුන තුළ ඔප්පු භාරදී, අවශ්‍ය නීති සම්මත කර ජනතාවට එහි අයිතිය ලබාදීමට ගයන්ත  කරුණාතිලක ඇමතිතුමා කටයුතු කරන බව කියන්න කැමැතියි.
ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කරන විට ආණ්ඩුවක් ලෙස රටේ ආදායම වැඩි කිරීමට අප කටයුතු කළ යුතු වෙනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබාදුන්නත් හොඳ ආදායමක් ලැබෙන්නේ නැත්නම් නිසි ප්‍රයෝජනයක් ලබන්නට බැහැ. ආදායමත්, අයිතියත් යන දෙකම ඔවුන්ට අවශ්‍යයි. නිවසක ඉඩමක හෝ වාහනයක අයිතිය වගේම ඉන් ආදායමක් ද ලැබිය යුතුයි. ලැබෙන ආදායම වැඩි දියුණු කරගත යුතුයි.
එමනිසා සමස්ත දකුණු පළාතට ම අලුත් ආර්ථිකයක් හදුන්වාදෙමින් ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත්කරමින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉදිරියේදී රැකියා අවස්ථා ලබාදෙන බව මම මෙහිදී කියන්න කැමතියි.
ඒ සමගම දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා හම්බන්තොට, මොණරාගල, ගාල්ල, මාතර ප්‍රදේශවලත් විශාල වෙළෙඳ කලාප ඇතිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම අපි ගාල්ල ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත්කරනවා. මේ වැඩකටයුතුවලදී දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයත්, සංචාරක අමාත්‍යාංශයත් එක්ව කටයුතු කරන බව කිව යුතුයි.
මීට පෙර කළුතර සිට හම්බන්තොට දක්වා පැවතුනේ කෘෂිකාර්මික ආර්ථිකයක්. දකුණේ ජනතාවට ජීවත් වීම සදහා ඒ ආර්ථිකය දැන් ප්‍රමාණවත් මදි. දැන් විරැකියාව ඇතිවී තිබෙනවා. ඒවාට විසදුම් ලෙස සමහරුන් මැදපෙරදිග යනවා. සමහරුන් ත්‍රීරෝද රථ කර්මාන්තයට එකතු වෙනවා. තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට හොද ආදායම් මාර්ගයක් ඔවුන් සියලූ දෙනාටම අවශ්‍යයි.  තමන්ගේ ආර්ථිකමය, සමාජීය තත්වය දියුණු කරගෙන හොද නිවසක් ඉදිකර ගැනීමට සියලුම දෙනාට අවශ්‍යයි. රටේ සියලූ දෙනාට ඒ තත්වය උදාකර දීම අපට ඇති අභියෝගයයි. ඒ අභියෝගය අප භාරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම දකුණේ දැනට පවතින කෘෂි ආර්ථිකය ශක්තිමත් කරමින් කර්මාන්තකරණය හරහා දකුණු පළාතට  නව කර්මාන්ත ආර්ථිකයක් හඳුන්වා දෙන බවත් කළුතර, අවිස්සාවේල්ල, ගාල්ල, වැලිගම, හම්බන්තොට ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇතිකිරීමෙන් රටේ විශාල කර්මාන්තකරණයක් ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News