රංජන්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 16 දා

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබුණු පැමිණිල්ල අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාග කළේය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම විභාගය පැවැත්විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා මෙම නඩුවට පාදක වී තිබෙන ප්‍රශ්නගත ප්‍රකාශය තමා සිදු කළ බව සදහන් කළේය.

එහි විනිසුරුවරු යන වචනය තමා වෙතින් සඳහන් වූයේ වැරදීමකින් බව කියා සිටි රන්ජන් රාමනායක මහතා
එම ප්‍රකාශ සිදුකරන අවස්ථාවේ තමා අරමුණ වූයේ එවක අධිකරණ අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතාගේ කටයුතු විවේචනය කිරීම පමණක් බවත් විනිසුරුවරුන් විවේචනය කිරීම තම අරමුණ නොවූ බවත් පවසා ඇත.

ප්‍රශ්නගත ප්‍රකාශය තුළ විනිසුරුවරු යන වචනය සඳහන් වූයේ වැරදීමකින් බවට තමාට වැටුහුණු විගස ක්ෂණිකව එම ප්‍රකාශය තුළින්ම එය නිවැරදි කිරීමට තමා කටයුතු කළ බවත් රංජන් රාමනායක මහතා සඳහන් කර සිටියේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා කියා සිටියේ මෙම නඩුවට පාදක වී තිබෙන ප්‍රකාශය පිළිබඳව තමා පසු අවස්ථාවක නිවැරදි කිරීමක් හෝ ඉල්ලා අස් කර ගැනීමක් සිදු නොකළ බවයි.

තම ප්‍රකාශයේ විනිසුරුවරු යන වචනය සඳහන් වූයේ වැරදීමකින් බවට තමා පළමු වරට ප්‍රකාශ කළේ එම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේ බවද අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාර රංජන් රාමනායක මහතා පිළිගෙන තිබේ.

ඉන් අනතුරුව රංජන් රාමනායක මහතාගේ සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 16 වැනිදාට කල් තැබුණි.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර ඇත.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබුණි.

ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News