සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් ජනපති කොමිසම හමුවට

Share

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රජයේ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද කැඳවා තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතිජීවක ඖෂධ ආනයනයේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂී දීම සඳහායි.

මේ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියට හෝ එහි වගකිවයුතු නිලධාරියෙකුට අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

එම කැඳවීම කර ඇත්තේ මෙරට රන් ආකරවලින් ලබාගත් පස් නීතිවිරෝධීව අපනයනය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළ ලිපිගොනු භාරදීම සඳහායි.

මේ අතර තමාට කළ දැනුම්දීමට අනුව අද කොමිසම හමුවේ පෙනි සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොමිසමට දැනුම් දී තිබිණ.

ඒ, මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බව පවසමිනි.

ඒ අනුව, ලබන 16 වැනිදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අග්‍රාමාත්‍යවරයාට යළි සිතාසි නිකුත් කළ බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

Read more

Local News