ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ, ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

Share

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbé මහතා ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රුකුලක් බවයි.

ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමඟ හමුවකට තමා එක්වන බව මෙහිදී පැවසු ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි ආයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ය.

අප්‍රේල් 21 වන දා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටිකලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එක් ව ගත් සාර්ථක ක්‍රියාමාර්ග පිළිබඳ මෙහි දී ජනාධිපතිතුමා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ ටෝගෝ ජනාධිපතිතුමා තම ප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පළ කළේය.

එමෙන් ම ඔහු කියා සිටියේ ලබන සෙනසුරාදා තම රටේ දී ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේ දී ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ විස්තර කිරීමට තමා අපේක්ෂා කරන බවයි.

ඉතා කෙටි වුවත් ටෝගෝ ජනාධිපතිවරයාගේ ඵලදායී වූ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රිකානු රටවල් සමඟ ආර්ථික සබදතා තර කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛ අවධානයකින් කටයුතු කරන බවයි.

Read more

Local News