ගෝඨාගේ පෙත්සම පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කරයි

Share

ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කල පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන ප්‍රතිශෝධන ප්‍රථම තුළින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියටත් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශිත එම තීන්දුව නීතිවිරෝධී බවත් එය ප්‍රතිශෝධනය කර තමන්ම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප කිරීමද කොළඹ මහාධිකරණය තීන්දු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත මෙම තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ව සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News