රංජන්ට එරෙහි නඩුව කල්යයි

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට සහ “උසාවිය නිහඬයි” නැමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ යන මහත්වරුන්ට ලබන 30 වනදා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම සිතාසි නිකුත් කිරීම සිදු කළේය.

රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය විසින් එම සිතාසි නිකුත් කිරීම සිදු කළේ.

වැඩිදුර විභාගය ලබන 30 වනදා තෙක් කල් දමා ඇත.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබුණි.

ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Read more

Local News