කෘෂි අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් රජයට පාඩු සිදුවු බව අගමැති පිළිගනියි

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම හේතුවෙන් අධික වැය බරක් දරන්නට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති කොමිසමේදී පිලිගෙන තිබේ.

කොමිශන් සභාවේ හෙලි වී ඇති කරුණු හා එහි සාමාජිකයින් සිදුකරන ප්‍රශ්න කිරීම් අනුව තමාට ඒ බව පෙනී යන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පැය 5 කට අධික කාලයක් සාක්ෂි ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කර තිබේ.

අදාල ගොඩනැගිල්ල ලබා ගැනීමෙන් අපේක්ෂා කළ සාර්ථකත්වය මේ දක්වා ඉටු වී නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සදහා ලබා ගැනීමට අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල සදහා ගෙන ඒමේදී තමා එම ගොඩනැගිල්ල ලබාගත යුතු බවට කිසිඳු අවස්ථාවක ප්‍රකාශයක් හෝ දැනුම්දීමක් නොකල බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාල ගොඩනැගිල්ල ලබා ගැනීම සදහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරිපත් කරන බව සදහන් කර තිබුණ ද තමන් උපදෙස් ලබාදුන්නේ එම ගොඩනැගිල්ල ලබා ගැනීමට නොව සුදුසු ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා ලබාගන්නා ලෙස බව අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අතර අදාල වංචාව සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තමන් විසින් සොයාබලන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Read more

Local News