අලි රොෂාන්ට එරෙහි නඩුව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා මූලික විරෝධතාවක්

Share

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ප්‍රතික්ෂේප කර ලෙස විත්තියේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය.

මෙම නඩුව අද (18) විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුවට අදාළ චෝදනා ගොනු කර ඇති ආකාරය නිශ්චිත නොමැති බව සඳහන් කර සිටියා, එම නිසා මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි විත්තියේ නීතිඥවරුන් අධිකරනය හමුවේ සිය දේශන වලින් ප්‍රකාශ කළේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම මූලික විරෝධතා වලට අදාල නීතිපතිවරයාගේ දේශන ඔක්තෝබර් මස 2 වනදා ඉදිරිපත් කරන මෙන් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර වන ජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අයද ඇතුලත්ව සිටියි.

Read more

Local News