අල්ලස් ගත් සංවර්ධන නිලධාරියාට වැඩ වරදී

Share

රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු අක්කරපත්තුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හිටපු ගොවිජන සංවර්ධන නිලධාරියාට වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය ඔහුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කිරීමට තීන්දු කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙසේ දඬුවම් නියම වුණේ අක්කරපත්තුව ගොවිජන සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ අබ්දුල් ලතීෆ් අබ්දුල් ගයාන් නමැත්තෙකුට.

එම චෝදනාවටම වරදකරු කෙරුණු අදාල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ සේවය කළ හිටපු ලිපිකරුවකු වන සුලෙයිමාන් ලෙබ්බේ මුනාස් නැමැත්තාට වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 10,000 ක දඩයක් ද නියම කළේය.

2015 වසරේ සැප්තැම්බර් මස 6 වනදා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි අයෙකුට කුඹුරු ඉඩමකට අදාල හිමිකම් බලපත්‍රය නිකුත් කිරීම සඳහා රුපියල් 8000/- ක අල්ලසක් ඉල්ලා එම මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට මෙම දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.

Read more

Local News