මේ මාසයේ පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම අරඹනවා

Share

මෙම මස ඇතුළත පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති පරිපුරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් 703 ක් සහ සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබාදීමේ උත්සවය අමතමිනි.

එම උත්සව සභාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා,

“රජයක් වශයෙන් සෞඛ්‍ය සේවාව ජනතාව අතරට ගෙනයාම සදහා නිදහස් සෞඛ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. 2015 මම වැඩ බාර ගන්නකොට නිදහස් සෞඛ්‍ය සේවාවක් කිවුවාට සමහර අංශවල නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුනේ නැහැ. ප්‍රතිකාර සදහා මුදල් වියදම් කරන්න වුනා. අපි පිළිකා රෝගී ප්‍රතිකාර සීමා ඉවත් කළා.

එම නිසා අපේ වියදම 9 ගුණයකින් වැඩි වුනා. නව පිළිකා නාශක ඖෂධ හදුන්වා දුන්නා, ඖෂධ  මිල අඩු කළා.

හෘද රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට කටයුතු කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදුන්නා. අක්ෂි කාචයක් දමා ගැනීමට මුදල් නොමැති නිසා මාසෙකට ලක්ෂයක් පමණ වන ලංකාවේ මිනිසුන්ට ඇස් පෙනීම දුර්වල වෙනවා.

ශ්‍රවණාබාධ දරුවන් සදහා සැත්කම් පටන් ගත්තා, ඔවුන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදුන්නා. හෘද බද්ධය, ඇටමිදුලු බද්ධය, අවයව බද්ධය, ද්විත්ව බද්ධය, අත්, පා ඇතුලු බද්ධ කිරිම් ආරම්භ කළා. දැන් සාර්ථකව එම කටයුතු සිදු වෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවාවේ නිදහස්ව නොතිබුනු සියලු අංශ නිදහස් කළා. තව නොබෝ දිනකින් පෙණහළු බද්ධයත් සිදු කරනවා. මේ රජය විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සදහා වියදම් කරනවා. මේ කටයුතුවල ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 02 කින් විතර. එතකොට මියයන්ට හිටපු පිරිසේ ජිවිත ආරක්ෂා වෙලා. ජිවිත ආයු කාලය අද තියෙනවාට වඩා වැඩි වෙනවා. අවුරුදු 04 ක් විතර සාමාන්‍ය ආයු කාලය වැඩි වෙයි. අද තියෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවය මේකයි. භෞතික හා මානව සම්පත ඉහළ නැංවීමට ද කටයුතු කර තිබෙනවා.

අති නවීන වෛද්‍ය උපකරණ දැන් මෙරට සෞඛ්‍ය සේවාවේ තිබෙනවා. පෞද්ගලික අංශයේවත් නැති නවීන වෛද්‍ය උපකරණ, නවීන වෛද්‍ය විද්‍යාව ලංකාවට ගෙනාවා. ජාන වලට  ප්‍රතිකාර කරන වෛද්‍ය විද්‍යාව. තව නොබෝ දිනකින් ලංකාවට හදුන්වා දෙනවා. “ස්ටෙම් සෙල්” වෛද්‍ය ක්‍රමය, ලෝකයේ නවීනතම පිළිකා ඇතුලු හැම රෝගයකටම ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය මේ මාසේ අන්තිම වෙනකොට අපි ලංකාවට ගේනවා.”

Read more

Local News