ගෝඨාගේ නඩුව සැප්තැම්බර් 23 දා කැඳවයි

Share

පසුගිය රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ ඇවන්ට්ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව නැවත සැප්තැම්බර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවත් එබැවින් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස එම අභියාචනාධිකරණ නියෝගයෙන් සඳහන් කර ඇති බවත් දැනුම් දුන්නේය.

මෙහිදී අධිකරණය සඳහන් කළේ එම අභියාචනාධිකරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට නියම අධිකරණය එදින අභියාචනාධිකරණයෙන් අදාළ නියෝගයේ පිටපතක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.

මෙම නඩුව ගොනු කිරීමේදී එම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු විසින් දුන් ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග අහෝසි කර තමන්ව සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි හෙයින් එම නඩුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙකුද ඇතුළත් ව සිටියි.

ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතර ඇතුළත්ව සිටිති.

Read more

Local News