හේමසිරි සහ පූජිත්ගේ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 9 දා

Share

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ දිනයේ කැදවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීම අවසන් කර තිබුණි.

ඒ අනුව අද දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටීයේ මෙම සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය මුළුමනින්ම දෝෂ සහිත බවයි.

මෙම සැකකරුවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරිම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පූර්ව නිගමනයක සිටිමින්ම මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ මුල සිටම කටයුතු කර ඇතැයි චෝදනා කල දිලීප පිරිස් මහතා සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමයම පක්ෂග්‍රාහී බව සඳහන් කර සිටියේය.

මෙම සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දුන් විගසම හෘදයාබාධ වැළඳී ඇති බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවක්  බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

මෙම සැකකරුවන් දෙදෙනා මෙම නඩුව කෙරෙහි දක්වන උනන්දුව පාස්කු ප්‍රහාර මාලාව එල්ල වීමට පෙර දිනවල ලැබුණු බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කරවා තිබුණේ නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබුණු බවයි දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේය.

මහේස්ත්‍රාත් අධිකරණයට මෙවැනි ඇප නියෝගයක් ප්‍රකාශය කිරීමට කිසිසේත්ම බලයක් නොමැති හෙයින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන්ව වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් මස 9 දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

Read more

Local News