Tuesday, March 19, 2024.

මත්ස්‍ය ඇම දේශීය වශයෙන් සපුරාගැනීමට චිනයේ සහය

Share

ආරම්භ කරන ව්‍යාපෘති තවත් ව්‍යාපෘතියක් හෝ ව්‍යාපාරයක් නොවිය යුතු බවත් රටට ජනතාවට වැඩි ප්‍රතිලාභ හිමි වන ව්‍යාපෘති විය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

දේශීය ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඇම මෙරට තුලම නිෂ්පාදනය පිළිබද චීන නියෝජිත කණ්ඩායමක් සමඟ අද(20) පෙරවරුවේ පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසීය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්විණි.

එහිදී අදාළ චීන නියෝජිත කණ්ඩායමෙන් රාජ්‍ය අමාත්‍යවරයා විමසා සිටියේ ටුනා මත්ස්‍ය කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයින් සඳහා අවශ්‍ය මත්ස්‍ය ඇම මෙම නව ව්‍යාපෘතිය මගින් සම්පුර්ණයෙන් සපුරාලිය හැකිද යන්නය.

එසේ නිෂ්පාදනය කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය රැකගැනීම සඳහා මහත් පිටිවහලක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 200 කට එහා ජාත්‍යන්තර මුහුදු තිරයේදී මත්ස්‍ය ඇම සඳහා ඇම ලෙස යොදාගන්නා දැල්ලන් ඇල්ලීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

ඊට අමතරව ටින් මාළු කර්මාන්තය සඳහා අවශ්‍ය මාළු ද එමගින් ඇල්ලීම මඟින් රටට විශාල ආදායමක් ලබා ගත හැකි බව මෙම සාකච්ජාවේදී අනාවරණය විය.

දැනට ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සඳහා දේශීය බහුදින යාත්‍රා 700 ක් පමණ පිටත්ව යන බවත් ඒ සෑම බහුදින යාත්‍රාවක් ම එක් ගමන් වාරයක් සඳහා අවම වශයෙන් ටොන් 06 ක් පමණ බර ඇම රැගෙන යති.

ආනයනය කරන එක් ඇම කිලෝවක් සඳහා රජය රුපියල් 50 ක බදු සහනයක් ද ලබා දේ. දැනට ආනයනය කරන ඇම කිලෝවක් සඳහා රුපියල් 300 ක පමණ මුදලක් වැය කිරීමට ධීවරයින්ට සිදු වේ.

නව වැඩ පිළිවෙල යටතේ එම මුදලින් අඩක මිලකට එනම් රුපියල් 150 ක් වැනි මිලකට ඇම ලබාදීමට හැකි බව මෙම සාකච්ජාවේදී අවධාරණය කෙරිණ.

මේ මගින් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන රුපියල් බිලියන ගණනක් වන විශාල මුදලක් රටතුල රදවාගැනීමට හැකියාව ලැබීමත්, ඊට අමතරව බදු සහන ලෙස රජයට අහිමි වන තවත් විශාල මුදලක් ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙම වැඩපිළිවෙල පිලිබදව රජය දැනුවත් කර අදාළ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සඳහන් කළේය .

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් අපනයනය සඳහා වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට මෙන්ම ජනතාවට ඉතාම අවම මිලකට පහසුවෙන් ගුණාත්මක මාළු ලබා ගැනීමට අවස්ථාව සලසාදීමට හැකියාව ලැබීමත් විශාල ජයග්‍රහණයක් බවය.

මෙම ව්‍යාපෘතියේදී නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න ලංකා ධීවර සංස්ථාව මඟින් අපනයනය සහ දේශීය වෙළඳපල නිකුත් කිරීම සඳහාත් අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්‍ෂා කරන බව සඳහන් කළ රාජ්‍යා අමාත්‍යතුමා එමගින් ධීවර සංස්ථාවට ද අතිරේක ආදායම් මාර්ගයක් විවර කරදීම මගින් ධීවර සංස්ථාවේ මුල්‍ය අර්බුදයටද විසදුම ලබා දීමට හැකියාව ලැබෙන බවත් පැවසිය.

විශේෂයෙන් මුහුදේ වැඩි වශයෙන් මාළු සිටින ස්ථාන සැටලයිට් තාක්‍ෂණය මඟින් හඳුනාගැනීම මෙන්ම මත්ස්‍ය විශේෂ නව තාක්‍ෂණය මඟින් හදුනාගැනීම තුලින්ම සාගරයේ කුඩා මත්ස්‍ය විශේෂ ආරක්ෂා කරගැනීමට ද අවස්ථාව සැලසෙන බව මෙහිදී පෙන්වා දුන් මෙම නියෝජිත කණ්ඩායම ටින් මාළු කර්මාන්තය මගින් ද ශ්‍රී ලංකාවට විශාල ප්‍රගතියක් අත්කර දිය හැකි බව සඳහන් කළේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා එමඟින් රටට, ජනතාවට ලැබෙන සහන දැනට ආනයනය වෙනුවෙන් වැයකරන මුදල නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග ඉන් කොපමණ මුදලක් රට තුල රදවාගැනීමට හැකියාව ඇත් ද යන්න ඇතුලත් සවිස්තර වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම චීන නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News