වැරැදි මඟ යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනාවලින් හැකිය – ජනපති

Share

ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සංවිධාන කර තිබු සර්ව ආගමික සහජීවන සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ,

විවිධ ජන කොටස් අතරේ ප්‍රශ්න හා ගැටලු පසුගිය දශක කිහිපය පුරා අපේ රටේ දක්නට ලැබුණ ද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයන් අතර ගැටුමක් ඇති නොවූ බවත් වැරැදි මඟ යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනාවලින් හැකි බව කියා සිටියේය.

සියලු ආගමික දර්ශනයන්ගේ මඟපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ද සියලු ආගමික නායකයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

රට බෙදීමට සටන් කළ ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී ලෙස පරාජයට පත්වී නොමැති අතර, මතවාදයක් පරාජයට පත් කළ හැක්කේ තවත් මතවාදයක් තුළින් බව ද පැවසූ ජනාධිපතිවරයා නැවත රටේ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රටේ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කඩිනමින් සියලුදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවා රටේ සියලු ජනතාව සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

Read more

Local News