විපතට පත් ජනතාවට සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

Share

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්,නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදුකරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳ අද (24)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ය.

ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇති විය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලූ අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයන් 6,000කට වැඩිපිරිසක් ආපදාවට ලක්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ද සමාලෝචනය කෙරිණි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දුන්නේ පැවති නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පමණ ජනතාවට පානීය ජලය බෙදා දීමේ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබූ බවත් එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් ය.

ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජෙනරාල්ශාන්ත කෝට්ටේ ගොඩයන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍යනිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News