සෞඛ්‍යාරක්ෂාව, ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණක පමණයි දරුවන්ට ලබාදෙන්නේ

Share

නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතර කිරීමට කිසිසේත් සූදානම් නැති බවත්, දරුවන්ට ලබාදෙන්නේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණක පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෑතකාලීන අධ්‍යාපන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සමහරු දේශපාලන අරමුණුවලින් විවිධ චෝදනා නඟන නමුත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වන අයුරින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා මහතා මෙහි දී අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගෙන් සමන්විත වූ තාක්ෂණ මණ්ඩලයකින් සකස්කරන ලද නිර්ණායක මෙන් ම ලෝක සම්මත නිර්ණායක ද පදනම් කරගෙන ටැබ් පරිගණක ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේය.

එහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊයේ එක් මාධ්‍ය සාකච්ඡාවක දි චෝදනා කරනවා, සහරාන්ගේ බෝම්බයට වඩා අකිලගේ ටැබ් ලබාදීම භයානකයි කියලා.

ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ව මුල ඉඳලම මේ රටේ සමහරුන්ට ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ දරුවන් අනාගතයට ගෙන යන වැඩපිළිවෙළ නතරකරන්න, නවීන තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ගුරුවරයෙක් හැටියට කටයුතු කරන ටැබ් ලබාදීම නවත්වන්න පහුගිය කාලෙ පුරාම දිගින් දිගටම මේක නවත්තන්න විවිධ ප්‍රචාර කළා. මේකට මඩ ගැහුවා.. බිල්ලෙක් මවන්න හැදුවා.

ඒ නිසා මගේ යුතුකමක් තියෙනවා විෂය භාර අමාත්‍යවරයා විදියට, එහි තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අයත් සහභාගී කරවාගෙන මෙහි සැබෑ තත්ත්වය පැහැදිලි කරවන්න.

මෙම වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලබාගැනීම ආදියේ දී, යම් ප්‍රමාදයක් වුණත් ඒ සියලු බාධාවන්ට මුහුණ දී  මුලසිටම විධිමත්ව ඉතා පරිස්සමින් මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න කටයුතු කළ බවත්, දරුවන්ට ලබාදීමට යෝජිත මෙම ටැබ් පරිගණකය යුරෝපයේ දියුණු රටවල පවා පාසල්වල භාවිත කරන ලෝකයේ පිළිගත් ටැබ් පරිගණකයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා,

“මම දැක්කා මේ දේශපාලනඥයා විවිධ ආකාරයෙන් මේ ටැබ් වැඩපිළිවෙළ විවේචනය කරනවා. ඔඩොක්කුවෙ තියාගන්න හොඳ නෑ කියනවා..පුරුෂ ශක්තිය නැතිවෙනව කියනවා. මම දැකලා තියෙනවා එතුමත් ටැබ් එකක් පාවිච්චි කරනවා.

එතුමන්ට තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් නෙමෙයි වගේ මට නම් පෙනෙන්නෙ. අපි ලබාදෙන ටැබ් පරිගණකය එහෙම එකක් නෙමෙයි. ඒක බ්‍රෑන්ඩඩ් ටැබ් පරිගණකයක්” යැයි ද පැවසිය.

Read more

Local News