ඇල්පිටියේ ඡන්දය නවත්වන්න ගොනු කළ පෙත්සම අද යළි සලකා බලයි

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (25) යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නියෝග කළේය.

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවේය.

මෙම නඩුවට අදාළව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කරන හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සුදුසු බව විනිසුරුවරු දෙදෙනා විසින් නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් හතරදෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි.

එබැවින් අදාළ දින නියම කිරීම නීතියට පටහැනි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News