පොලිස්පතිගේ සංශෝධිත දෙවන දිවුරුම් පෙත්සමත් ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති ඉල්ලයි

Share

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණි.

මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද යළිත් සිදු කෙරුණේය.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ජුලි මස17 දා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම ඉවත් කරගෙන ඒ වෙනුවට සීමිත විරෝධතා ඇතුළත් නව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ ඔහු වෙත නියෝග කළ බව සඳහන් කළේය.

එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති දෙවන දිවුරුම් පෙත්සම තුළින්ද නීතිපතිවරයාට සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අභූත, පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා රැසක් එල්ල කර ඇති බව සඳහන් කළ නීතිපති ලිවේරා මහතා එම කරුණු පදනම් විරහිත බව ද සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ එම දිවුරුම් පෙත්සම මගින් නීතිපතිවරයාට පෞද්ගලිකව සහ රාජකාරිමය වශයෙන් අභූත චෝදනා රාශියක් එල්ල කර තිබෙන බවත් එම දිවුරුම් පෙත්සම හරහා නව තොරතුරු ගණනාවක් අධිකරණය හමුවට රැගෙන ඒමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවද නීතිපති ලිවේරා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එබැවින් පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත දෙවන දිවුරුම් පෙත්සමද ඉකුත් නඩු දිනයේ අධිකරණය විසින් දුන් නියෝගයට පටහැනි බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

මෙහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අවස්ථාවක පෞද්ගලික මට්ටමින් කිසිදු පාර්ශවයකට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර නොමැති බවත් සඳහන් කළේය.

පාස්කු ඉරුදින සිද්ධියේදී තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු ඔහු විසින් මෙම දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර ඇති බව කියා සිටි නීතිඥ කොරයා මහතා මෑතකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බවත් එහි තම සේවාදායකයාට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් මෙම පෙත්සම හරහා අලුතින් කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇති බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා විසින් ඉකුත් 23 වනදා ඉදිරිපත් කර තිබෙන දෙවන දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැලකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.

Read more

Local News