සෞඛ්‍ය ඇමතිට ජනපති කොමිසමෙන් පැසසුම්

Share

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පිළිබඳ කෙරෙන විමර්ශනයක් සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටියේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල නමින් රජයට පවරා ගැනීම සඳහා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බවත්ය.

මේ පිළිබඳ සැලකිල්ල යොමු කළ කොමිෂන් සභාව විසින් කැබිනට් ලේකම්වරයාට නියෝග කළේ අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි.

ඊට පසු දින (25) කැබිනට් ලේකම්වරයා නියෝජනය කරමින්, කැබිනට් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඩ් නිලුක්ෂාන් මහතා කොමිෂන් සභාවට අදාළ අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ ප්‍රමුඛ සාමාජික මණ්ඩලය සඳහන් කළේ රෝගීන් වෙනුවෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අරමුණ ඉතා ප්‍රශස්ත හා ප්‍රශංසනීය බව ප්‍රකාශ කර ඇත.

කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ තමාද නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් සේවා ලබා ගෙන ඇති බවත්, එය ඉතා හොද රෝහලක් බවත්ය.

අවශ්‍ය වන්නේ රෝහල ක්‍රමවත් ආකාරයෙන් රජයට පවරා ගැනීම බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

අදාළ පවරා ගැනීම් පටිපාටියට නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කටයුතු කළ හැකි බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් 2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අදාළ කාලය තුළ රජය මගින් කිසිදු අමතර වියදමක් දරා නොමැති අතර සියලු වියදම් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිතව වාර්තා කර ඇත්තේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වෙත හෝ ඔහුගේ ණය පිය වීමක් හෝ පවරා ගැනීම සඳහා කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් එම අමාත්‍යාංශය පවසයි.

Read more

Local News