විද්‍යාගේ ඝාතකයෙකුට නැවතත් මරණ දඬුවම නියම කරයි

Share

යාපනය, පුංකුඩිතිව්, 09 වන පටුමඟ ප්‍රදේශයේ දී විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය හිමි වු පූබාලසිංහම් ජෙයකුමාර් නමැත්තා වෙත යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් මහතා විසින් නැවත වතාවක් අද (30) මරණීය දණ්ඩනය නියම කර ඇත.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී 2010 මැයි මස 23 වැනිදා සෝමසුන්දර් සුබ්‍රමනියම් නමැති අයෙකු ඝාතනය කොට රුපියල් 10,000 ක මුදලක් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් යාපනය මහාධිකරණයේ කැඳවු අවස්ථා‍වේ අදාළ නඩු විභාගය වෙනුවෙන් තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.

පුද්ගල ඝාතනය වෙනුවෙන් මරණීය දණ්ඩය හා පුද්ගලයා ඝාතනය කොට රුපියල් 10,000 ක් සොරා ගැනීම වෙනුවෙන් දස වසරක බරපතළ වැඩ සහිත දඬුවමක් මෙන්ම අදාළ රුපියල් 10,000 ක මුදල වන්දි වශයෙන් නොගෙවන්නේ නම් තවත් මාස 10 ක සිර දඬුවමක් ද ලබාදෙන බවටද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කරනු ලැබීය.

යාපනය පුංකුඩිතිව් 09 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුබාලසිංහම් ජෙයකුමාර් හා ‍සේලවරාසා කිරුබාකරන් නැමැති දෙදෙනා වෙනුවෙන් අදාළ දඬුවම ලබාදීම නියෝග කෙරිණ.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥ මාදිනි විග්නේශ්වරන් මහත්මිය හා පළමුවන චුදිතයා වෙනුවෙන් නිතිඥ පි.අභිදන් මහතා හා දෙවන චුදිතයා වෙනුවෙන් නීතිඥ විශ්වලිංගම් ක්‍රිෂ්ණකුමාර් යන මහත්වරුන් පෙනී සිටියහ.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇඳුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ වරද වෙනුවෙන් අදාළ ඝාතන නඩුවේ චුදිතයෙකු ලෙස මීට පෙරද පූබාලසිංහම් ජෙයකුමාර් වෙත මරණීය දණ්ඩනය නියම විය.

Read more

Local News