රංජන්ට එරෙහි නඩුව 24 දාට කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද(30) සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය විභාගය පැවැත්වුණි.

එහිදී “උසාවිය නිහඬයි” නමැති චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර ඇත.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබුණි.

ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.