ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය රැස්වෙයි

Share

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
පිරිවෙන් සඳහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ඩෙස් බැංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස් කර අවසන්ව තිබෙන අතර ඉදිරියේදී ඒවා පිරිවෙන් සඳහා බෙදාදීමට හැකි බව සඳහන් කෙරිණි.
එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග‍්‍රන්ථ, සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප‍්‍රගතිය ද පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීම සහ ඒ සඳහා ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහය ලබා ගැනීම පිළිබඳව ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවට බදුන් විය.

Read more

Local News