ගැටුමක් නිසා තුවාල ලැබු අයෙක් මරුට

Share

ආණමඩුව-ආඩිගම ප්‍රදේශයේ සිදුවු ගැටුමකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ සිටි අයෙකු මිය ගොස් ඇත.

07 වැනිදා රාත්‍රී 11.00 ට පමණ ආඩිගම මංසන්ධියේදී මෙම ගැටුම හට ගෙන ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුරංග සුමිත් (අවු:38) නම් අයෙකි.

තුවාල ලබා ඇති ආඩිගම-දළුවේගම පදිංචිකරුවෙකු වන නිපුන් නිර්මාල් (අවු:26) යන අය ප්‍රතිකාර සඳහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.

මිය ගොස් ඇති අය ආඩිගම-දළුවේගම පදිංචි තම පියාගේ ඥාතියෙකුගේ නිවසට පැමිණ ඇත.

පසුව ඔහු එම නිවසේ සිටින තවත් දෙදෙනෙකු සමඟ දුරකතන කාඩ් පතක් මිළදී ගැනීම සඳහා ආඩිගම මංසන්ධියට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

පොලු වලින් පහර දීම නිසා තුවාල ලබා සිටි දෙදෙනෙකු එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් දෙදෙනාවම පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට ආණමඩුව රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

පුත්තලම මූලික රෝහලේදී එක් අයෙකු මිය ගොස් ඇති අතර, අනෙක් තුවාලකරු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න කුමාර, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් වැඩි දුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Read more

Local News