පාසල් සිසුන්ට දිවා ආහාරය යළි දෙනවා – සජිත්

Share

තමන් ජනාධිපතිවරයා වුවහොත් පාසල් ළමයින් සඳහා වසරකට නිල ඇඳුම් දෙකක් ලබාදෙන බවත්, දැනට නැවතී ඇති පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට යළි පණ දෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ඊයේ (14) බළන්ගොඩ නගරයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව කීය.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එකතු වීමද එහිදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා කොලොන්නේ කළ සංචාරයකදී අංග සම්පූර්ණ නොවූ නිල ඇඳුම් ඇඳගත් පාසල් දරුවන් දැක ලංකාව පුරාම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව සිහිපත් කළේය.

තම පියා දුප්පත් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නමුත් වර්තමානය වනවිට එය නතරකර ඇතැයිද, තමන් ජනපති වූ පසු යළිත් වරක් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට පණ දෙන බවද ඔහු කීය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය මේ වනවිට කඩාවැටි ඇති බැවින් එය යළි යාවත්කාලීන කරමින් ගොඩගන්නා බවත්, තේ, රබර් සහ එළවළු මෙන්ම සුළු අපනයන භෝග ආශ්‍රිතව ඇති වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී එම ක්‍ෂේත්‍රවල ගොවි ජනතාවට යහපත් ආර්ථික තත්ත්වයක් උදා කරදෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ගම්මිරිස් වැනි සුළු අපනයන භෝග ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රමය තමන් ජනපති වූ පසු වහා නවතා දමා දේශීය වශයෙන් නිෂ්පාදිත සුළු අපනයන භෝග සඳහා ඉහළ මිලක් ලැබෙන වෙළෙඳ පොළක් හඳුන්වාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ. විජේතුංග, හේෂා විතාන යන මහත්වරුන්, හිටපු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.

Read more

Local News