තිලංගට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම්

Share

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බව නිර්දේශ කිරීම සහ එම වාර්තාවේ අනෙකුත් නිර්දේශ පිළිබඳ අවධානය යොමු කරමිනි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ ඊයේ (14දා) දිනයේදීය.

ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ පසුගියදා (11දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණු අතර, ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අත්සන් තැබුවේය.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලේකම්වරයාට සහ විධායක කමිටුවට මෙම විශේෂ නියෝගය සිදු කර තිබුණි. ඊට අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනුයේ මෙම වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, හිටපු ක්‍රිකට් සභාපති ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයෙකු ලෙස එහි වැඩ කටයුතු හෝ රැස්වීම්වලට සහභාගි වීම, අසුන් ගැනීම, ඡන්දය භාවිත කිරීම, කුමන හෝ කමිටුවක කුමන හෝ රැස්වීමකට, ක්‍රියා පටිපාටියකට දායක වීම සහ කුමන හෝ ආකාරයකින් හෝ බලය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

මෙම විශේෂ නියෝගයේ පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, හිටපු ක්‍රිකට් සභාපතිවරයාට සහ තිලංග සුමතිපාල මහතාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිල්ලක් යොමු කළ පිළියන්දල නගර ක්‍රීඩා සමාජයටද ඊයේ දිනයේදී යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට සහභාගි වීම වළක්වාලමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර පියවර ගත්තේ පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදාය. ඒ, පිළියන්දල නගර ක්‍රීඩා සමාජය (Piliyandala Town Sports Club) අගෝස්තු මස 30 වැනිදා යොමු කළ පැමිණිල්ලකට අනුවය.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දැරිය නොහැකි බවට පිළියන්දල ක්‍රීඩා සමාජය ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අගෝස්තු මස 23 වැනිදා නිකුත් කළ 2137/85 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුවය.

අනතුරුව එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, ත්‍රිපුද්ගල විමර්ශන මඬුල්ලේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාද, එහි ලේකම් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරිනී ශිරෝමි රණවක මහත්මියද, සාමාජිකයෙකු ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීතිඥ එස්.ඩී. පියදාස මහතාද පත් කෙරිණි.

ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අගෝස්තු මස 23 වැනිදා නිකුත් කළ 2137/85 අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ,

2016.10.27 දිනැති අංක 1990/23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ක්‍රීඩා නියෝගවලට අදාළ 5(4) නියෝගයේ (ග) උපවගන්තිය ඉවත් කර ඊට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, “(ග) ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතුවල නියැළී සිටින තැනැත්තෙකු හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්, පුතා, දුව, බෑණා, ලේලිය) වන්නේ නම්,’ එම පුද්ගලයාට ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය නොහැකිය යනුවෙනි.

මෙම සංශෝධිත නව රෙගුලාසි (ගැසට් අංක 2137/85) යටතේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම විශේෂ නියෝගයද සමග හිටපු ක්‍රිකට් සභාපතිවරයාට මින් ඉදිරියට කුමනාකාරයෙන් හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු තහනම් කර තිබේ.

Read more

Local News