මගේ ඇගේ තියෙන්නේ ප්‍රේමදාස ලේ – සජිත්

Share

සුළු ආදායමක් වෙනුවෙන් දුක් විඳින වතු කම්කරුවන් කුඩා තේ වතු හිමිකරුවන් දක්වා සංවර්ධනය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රාදේශීය ජනහමු මාලාවේ තවත් හමුවක් ඊයේ(14) පස්වරුවේ රත්නපුර මහනගර සභා ශාලාවේදී පැවැත්විය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සංවිධාන කළ එම හමුවට වතු කම්කරු නියෝජිතයින් ද සහභාගි වී සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් මහතා “සජිත් අපේ ජනපති තුමනි“ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ අනාගත නෙමෙයි  අපේ ජනාධිපති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ජනග්‍රහණය එක්ලක්ෂ 25,000 ක් බවත් පැවසු අමාත්‍යවරයා, මෙම ඡන්දවලින් 80,000 ක් ම අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවට මෙහිදී පොරොන්දු විය.

මෙම අවස්ථාවේ දී ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, වතු ජනතාවට හිමි වන්නේ තුන්වන පන්තියේ සැළකිලි බවයි.

ඔවුන් සෑම ආකාරයකින්ම තැලෙන පොඩි වෙන පිරිසක් බවත් පැවසු ප්‍රේමදාස මහතා, රජයේ සංඛ්‍යා ලේඛන අනුව පවුලේ සිව් දෙනෙක් ජිවිත් වීමට නම් රුපියල් 55,000 ක මුදලක් අවශ්‍ය බවද මෙහිදී පැවසීය.

කවුරු මොන කථා පැවසුවත් වතු ජනතාවට ලබා දෙන රුපියල් 750 ඉතාම නින්දිත බවද පැවසු ප්‍රේමදාස මහතා මෙය ඉතා පහත් වැඩක් බවද කියා සිටියේය.

තම අනාගත බලාපොරොත්තුව වන්නේ, වතු කේෂ්ත්‍රයේ කම්කරුවන් ලෙස නොව කුඩා තේ වතු හිමිකරුවන් කිරීම බවද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, නව ක්‍රමයක් තුළින් කුඩා තේ වතු තුළින් කිසිවෙකුට යටත් නොවී තම ශක්තියෙන් අභිමානවත් ජන ජීවිතයක් උදාකර දීම තම එකම බලාපොරොත්තුව බවද පැවසීය.

වතු කම්කරුවන්ගේ ප්‍රශ්න හා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගැටළු ඇති බවත් පැවසු ප්‍රේමදාස මහතා, “මිත්‍රවරුණි මගේ විරුද්ධවාදියා වගේ නෙමෙයි මම ඔය ඔක්කෝම දන්නවා“ යනුවෙන් ද කියා සිටියේය.

තම විරුද්ධවාදියා හැමදාම ඉගෙන ගන්නා බවත් පැවසු ඒ මහතා තමාට කිසිවක් ඉගැන්වීමට නැති බවත් තමාගේ ඇගේ ඇත්තේ ප්‍රේමදාස ලේ බවත් පැවසීය

Read more

Local News