සජිත් හෙළි කළ යුතු දෙයක් ගැන පොහොට්ටුව කියයි

Share

දෙමළ ජාතික සන්ධානය සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්ථාවරය හෙළිකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සකස් කළ යෝජනාවලිය පක්ෂවලට ඉදිරිපත් කර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ සාධාරණ පිළිතුරක් නොලැබු බව  ආර් සම්බන්ධන් ප්‍රකාශ කර ඇති බවත්ය.

අන්තවාදී හා ත්‍රස්තවාදී ඉල්ලීම්වලට පොදුජන පෙරමුණ එකඟ නොවන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මතය දැනගැනීමට අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

එසේම ඕනෑම පක්ෂයක් සමඟ සංවාදවලට විරුද්ධ නැති වුවද උතුරට එක නීතියක් දකුණට එක නීතියක් ලෙස වෙන වෙනම නීති සම්පාදනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් නැති බවත් ඒ මහතා පැවසීය.

මේ අතර පැල්මඩුල්ලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අතරතුර එහි පාක්ෂිකයින් ගමන් ගත් බස් රථයකට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළවුණි.

ඒ පිළිබඳව අදහස් දැක්වු ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් හා මැර පිරිසක් විසින් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම සිදුවීම් එජාපයේ ප්‍රතිපත්තිය වුවද පොලීසියේ හා නීතියේ ප්‍රතිපත්තිය මෙය නොවන බවත් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතරම තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News