සජිත් කෝමා රෝගයට ගොදුරු වෙලා හිටපු කෙනෙක්ද ?

Share

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේ අවුරුදු හතර හමාරක් පුරා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුණේ තමන් බව අමතක වූවෙකු ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය.

“අද රටේ ජනතාව කල්පනා කරනවා සජිත් ප්‍රේමදාස කෝමා රෝගයට ගොදුරු වෙලා හිටපු කෙනෙක්ද කියලා.

සමහර වෙලාවට කතා කරන්නේ ඔහු කතා කරන්නේ කෝමා එකක ඉඳලා දැන් ප්‍රකෘති තත්ත්වයට පත් වුණා වගේ.

අවුරුදු හතර හමාරක් පුරා රනිල්ගේ නියෝජ්‍ය නායකයා වුණේ සජිත් කියන එක අද  අමතක වෙලා. අද කතා කරන්නේ නින්දෙන් නැගිට්ට කෙනෙක් වගේ.

අද රටේ ආර්ථීක අර්බුදය ඇති වෙන්න මූලික හේතුවක් වුනේ බැඳුම්කර මංකොල්ලයයි. බැඳුම්කර මංකොල්ලය සිදු වෙනකොට  සජිත් සිටියේ මේ කැබිනට් එකේ.

මත්තල ගුවන්තොටුපල වී ගබඩාවක් කරන කොටත් සජිත් හිටියේ මේ කැබිනට් එකේ. සංඝයා වහන්සේලා හිරේ දානකොට බුද්ධි අංශ හිරේ දානකොට සජිත් හිටියේ මේ කැබිනට් එකේ.

ත්‍රස්ත වාදීන්ට වන්දි ගෙවනපනතට අත උස්සනකොට එතුමා හිටියේ මේ කැබිනට් එකේ.

මේ රටේ ආර්ථීකයේ වර්ධන වේගය 1.6 ක් දක්වා පහත වැටුනේ එතුමාගේ කාලයේ කියලා එතුමාට මතක නැහැ. මේ වෙනකොට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා කාබන් බද්ද ඉවත් කරනවා කියලා.

කාබන් බද්ද පැනෙව්වෙත් එතුමාගේ ආණ්ඩුව කාලේ කියලා එතුමාට අමතක වෙලා. මම අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් එතුමා ජනාධිපති වුණාම අගමැති කවුද කියලා.එතුමා හැම විටම කියන්නේමේක අගමැති තෝරන මැතිවරණයක් නෙමෙයි කියලා.

හැබැයි ගෝල්ෆෙස් පිටියේ දී එතුමාට පරණ පුරුදු මතක් උනා. ඒ නිසා උසම උස කෙනාට සිකියුරිටි ඇමතිකම දෙනවා කියලා  එතුමා ප්‍රකාශ කළා.

මම හිතනවා එතුමා මෙහෙම ගියොත් එතුමාගේ ආණ්ඩුවේ පොඩිම පොඩි මන්ත්‍රී කෙනෙක් වෙන බුද්ධික පතිරණට කම්කරු ඇමතිකම දෙයි කියලා.

විකාර දොඩවන සිහින කැබිනට් මණ්ඩලයක් මවාගත්ත ජනාධිපති කෙනෙක් රටට වැඩක් නැහැ.

ඊයේ පෙරේදා රත්නපුරේ පැත්තේ සමනල පැටියෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අභූත චෝදනා  එල්ල කළා මම එතුමාට කියනවා තාම එතුමාට එතුමා ගැනවත් අවබෝධයක් නැහැ කියලා.

සමනල පැටියෙක් වුණාට එතුමා හිතාගෙන ඉන්නේ එතුමා උකුස්සෙක් හරි රාජාලියෙක් හරි කියලයි. මම කියන්නෙ තමන්ගේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කතා කරන්න කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සංවිධායකවරයා අම්ජාඩ් මහත්තයා එජාපයට සම්බන්ධ වුණා කියලා පසුගියදා බරපතළ රඟපෑමක් සිදු කළා.

ඒ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළේ 2019 ජුනි මාසෙ එකොළොස්  වෙනිදා. එදා ඉඳලා බේරුවල සංවිධායකමේ සුගත් මතුනමගේ කියන මහත්තයා.

මම  කියනවා මේ වගේ රඟපෑම් කරන්න පුලූවන්නම් මතුනමගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හය දෙනාම  පුලූවන්නම් අරගෙන පෙන්නන්න කියලා.

මේ අය ඉන්නේ අපිත් එක්කය. මේ අයත් එක්ක ඉතාම ඉක්මනට මම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. අම්ජාඩ් මහත්තයා  රාජිතගේ අතකොළුවක් වුණේ මීට ගොඩක් කාලෙකට කලින්.

බොරු මාධ්‍ය සන්දර්ශන නැතුව පුලූවන්නම් බේරුවල දිනල පෙන්නන්න කියලා මම මේ අයට කියන්න කැමතියි.”

Read more

Local News