Home දේශීය පුවත් රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට එරෙහි නඩුව කල්යයි

රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට එරෙහි නඩුව කල්යයි

0
රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට එරෙහි නඩුව කල්යයි

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ගත් තීරණය තුළින් ජනාධිපතිවරයා හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණි.

මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවා ඇත.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ සුරේන් ප්‍රනාන්දු යන නීතිඥවරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පරිසර හා මහවැලි අමාත්‍යාංශය පමණක් බවයි.

එසේ තිබියදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පෙන්වා දෙන එම නීතිඥවරුන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙන්වා දි ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මෙවැනි ආයතන පවරා ගැනීමක් සිදු කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පවතින බවයි.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කර සිටියේය.

පෙත්සම් පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 28 වන දා තෙක් කල් තැබුණි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here