නැවත බලය ඉල්ලන හේතුව අකිල කියයි

Share

එක්සත් ජාතික පක්ෂය කැබලිවලට කැඩී යනු ඇතැයි බලා සිටි ඇතැමුන් ඒ ඔස්සේ ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පිඹුරුපත් සකස් කරගෙන සිටි නමුත් කවර මති මතාන්තර තිබුණ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ සියලු දෙනාම එකට එක් වී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව පක්ෂයේ සියලුදෙනා ම එක් වී ජනාධිපතිවරණය ජයගැනිමට කටයුතු කර‍ගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

ජනතාවට මේ ජනාධිපතිවරණයේ දී තීරණය කිරීමට ඇත්තේ කරුණු දෙකක් පිළිබඳව පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, එම කරුණු දෙක නම් ඇමරිකානූ ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් කරනවාද නැතිනම් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ලාංකික සංස්කෘතික අනන්‍යතාව තිබෙන සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා ජනාධිපති බවට පත් කරන්නේ ද යන තීරණය ගැනීම පමණක් බවත් පැවසීය.

අමාත්‍යවරයා එම අදහස් ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජනාධිපතිවරණ ජනහමුව අමතමිනි.

“පසුගිය අවුරුදු හතර පහේ දී අපේ කකුලෙන් කොයිතරම් ඇද්දත් ජාතික ආණ්ඩු ගහගෙන හැකි උපරිම වේගයෙන් වැඩ කළා. ගමට සංවර්ධනය ගෙන ඒම සඳහා ගම්පෙරළිය වැඩසටහනින් ලක්ෂ හාරපන්දහසක් ලබා දුන්නා.

2015 සිට සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ 10-15 ක් බැගින් ලබා දුන් අතර සමෘද්ධි අහිමිව සිටි දහස් ගණන් ජනතාවට සමෘද්ධිය හිමිකර දුන්නා “යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පස් වසරකට ආසන්න කාලයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදුකරන ලද විප්ලවීය පරිවර්තනය ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, “ ළඟම පාසල -හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පමණක් නව පාසල් ගොඩනැගිලි 1500ක් ඉදිකරන ලද බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ඉදිකරන ලද දෙමහල් තෙමහල් නව පාසල් ගොඩනැගිලි 60ක් පමණ සංඛ්‍යාවක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම නිසා  විවෘත කිරීමට නොහැකි වූ අතර රට පුරා තවත් පාසල් රැසක ද එවැනි ගොඩනැගිලි විවෘත කිරීමට තිබෙන බවත් අනාවරණය කළේය.

සෑම පාසල් දරුවෙකු ම සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ රක්ෂණය කිරීම, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් වුවත් උසස් පෙළ හැදෑරීම සඳහා 13 වසරක සහතික කළ අධ්‍යාපනය හඳුන්වාදීම, ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 17,000ක් බඳවා ගැනීම, 2015 දී ගුරු සේවයේ 1පන්තියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 24,000/-යි.

එය   40,000/- දක්වා ඉහළ නැංවීම, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉටුකරන ලද විප්ලවීය වෙනස්කම් රාශිය අතරින් කිහිපයක් පමණක් බව  පැවසූ අමාත්‍යවරයා සෙසු අමාත්‍යාංශ ද මේ ආකාරයට ම  විශාල සේවාවක් ඉටුකරන ලද බවත් පැවසීය.

පසුගිය රජය සමයේ ජනතාව පැහැරගෙන යාමට යොදාගන්නා ලද සුදුවෑන් වෙනුවට වත්මන් ආණ්ඩුව ජනතාවගේ දිවි සුරැකීම සඳහා සුව සැරිය ගිලන් රථ සේවාව හඳුන්වා දීම හා ඖෂධ වර්ග රැසක මිල අඩු කරමින් කුලියාපිටියේ ශික්ෂණ රෝහල වැනි නව රෝහල් ඉදිකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැවැන්ත සේවාවක් සිඳුකළ බව ද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේය.

“එක්සත් ජාතික පක්ෂය නැවත බලය ඉල්ලන්නේ ඇයි? සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි කියන්නේ ඇයි?  අපේ කකුලෙන් අදින විට පවා සිදුකළ සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනයමින් අපේ දක්ෂතා හා හැකියාවන්ගෙන් පෙරටත් වඩා වැඩි සේවයක් රටට සිදු කිරීමටයි. වාද භේද නැතිව ගෙන් ගෙට ගොස් ඒ බව පවසන්න, අලුත් ගමන වෙනුවෙන් හිටගන්න” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Read more

Local News