කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට ගොඩ බස්සවයි

Share

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද(21) දින අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත බලධාරීන් පියවර ගෙන තිබුණි.

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මිලි මීටර් 57 ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර , විශේෂයෙන්ම ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව නිසා ගුවන් යානාවල ගුවන් නියමුවන්ට දුර නොපෙනීමේ තත්ත්වයක් ද පැවතුනි.

මේ නිසා අද උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 266 දරන ගුවන් යානය , උදෑසන 6.20 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

පසුව කාලගුණික තත්වය මදක් යහපත් වූ පසුව එම ගුවන් යානය උදෑසන 8.10 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී, උදෑසන 8.31 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි.

මෙහි මගීන් 192 ක් සිටියහ.

උදෑසන 6.15 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නොහැකි වූ දෙවන ගුවන් යානය වූ අතර, එය මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 6.30 ට පමණ ගොඩ බැස්වීය.

පසුව එම ගුවන් යානය උදෑසන 9.05 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ එම ගුවන් යානය උදෑසන 9.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සමත් විය . එම ගුවන් යානය තුළ මගීන් 269 ක් සිටියහ.

මෙම ගුවන් යානා ඒ- 330 – 200 එයා බස් වර්ගයේ වූ ඒවා වන අතර , එම ගුවන් යානා තුළ සිටි මගීන් කිසිවෙකුත් ගුවන් යානා තුළින් පිටතට බැස්සවීමට මත්තල ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read more

Local News