සජිත් තරුණයෙක්ද ?

Share

ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතීන් මැතිවරණ කොමිසම විසින් උඳුරාගෙන ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ(21) පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මිද්දෙණිය නගරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, උසස් පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බවයි.

එමෙන්ම එම පාඨමාලා ආර්ථිකයට සුදුසු ලෙස සකස් කරන බවත්, තොරතුරු තාක්ෂණයෙන් ඉතා කෙටි කාලයක් තුළ බුද්ධිමතුන් පුහුණු කළ හැකි හොඳ වැටුපක් ලබා ගත හැකි ක්‍රමවේදයක් ඇති කරන බවත් ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම ජන රැළියට එක්වු විමල් වීරවංශ මහතා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා වයස අවුරුදු 54 ක් වී තරුණයෙක් නම් ඊට වඩා වයස අවුරුදු 10ක් පමණ අයෙකුටත් තරුණයෙක් කිව හැකි බවයි.

සජිත් මහතා ඒ දණ්ඩෙන් යන හැටි දැක්කහම තරුණයෙක් බව සිතන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටි වීරවංශ මහතා, පුතාණෝ දුන්න ගෙවල්වල ණය නොගෙවීම නිසා ගෙවල්වලින් කාන්තාවන් එළියට දමා ඇති බවත් පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වන විට භික්ෂුන් වහන්සේලා ලවා බණක් කියවා ගත නොහැකි බවයි.

මැතිවරණ නීතිය අනුව එවැනි දෙයක් පවසන බවත් කියා සිටි රාජපක්ෂ මහතා, පන්සල් යන්න, බෝධී පුජා තිබිය නොහැකි බවත් කියා සිටියේය.

මුලික අයිතිවාසිකම් පවා මැතිවරණ කොමිෂන් සභාව අද උඳුරා ගෙන ඇතැයි පැවසු ඒ මහතා, ව්‍යවස්ථාවෙන් ලබා දුන් අයිතිය උඳුරා ගන්න කිසිදු අයෙකු නොහැකි බවත්, බණක් ඇසිය නොහැකි නම් පන්සලකට යා නොහැකි නම් බෞද්ධයන් ලෙස ඔළුව උස්සන් ඉන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

මෙවැනි දේ ආණ්ඩුව විසින් කරවන බවත්, මෙය සාධාරණ ද යන්න සියලු ආගම්වල අය සිතා බැලිය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ක්‍රමනුකූලව ජනතාව ආපස්සට ඇඳ දමන යුගයක් බවට මොවුන් පත් කිරීමට උත්සහ කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේ අතර වැඩකරන රටක් සාර්ථක දැක්මක් යන තේමාව යටතේ පැවැත්වෙන ජන රැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ රක්වාන නගරයේදී පැවැත්වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් ගෝඨාභය මහතා පවසා සිටියේ, මැණික් ව්‍යාපාරය රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි අංශයක් බවත් එය රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි කේෂ්ත්‍රයක් බවත් පැවසීය.

ලෝකයේ මැණික් ඛේන්ද්‍රය බවට ලංකාව පත් කළ හැකි බවත් පැවසු ගෝඨාභය මහතා, මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම ගම්මානවල පතල් කරන අය සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ලබා දුන් සියලු ප්‍රතිලාභ මෙම ආණ්ඩුවෙන් කප්පාදු කල බවත් නැවත ඔවුන්ට ඒවා ලබා දිය හැකි යුගයක් ඇති කරන බවත් නාමල් මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු පවිත්‍රා වන්නිආච්චි මහත්මිය කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා වැනි වගකීමක් නොමැති අයෙකුට ඡන්දය ලබා දී රට බාර දෙන්නේ කෙසේ ද යන්නයි.

Read more

Local News