කකුල් දෙකෙහි සඟවා ගෙනා රන් බිස්කට් තොගයක් රේගුවේදි අත්අඩංගුවට

Share

රුපියල් කෝටි හතරයි ලක්ෂ 10 ක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපළෙන් පිට කිරිමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අද (22)  දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.

මොහු ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති විදුලි උපකරණ භාණ්ඩ අලෙවි කරන සාප්පුවක සේවය කරන 26 හැවිරිදි, වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙකි.

මෙම තරුණයා තම දෙකකුල් වල, දණහිසට පහළින් ඇති බත් කෙණ්ඩ ප්‍රදේශ වල පාර්සල් 05 ක් ලෙස සකස් කර , සුදු පැහැති ගම් ටේප් යොදා අලවා ගෙන තිබුණි .

මේ ආකාරයට තම සිරුරේ මෙම රත්තරන් සඟවා  ගෙන අද  දින උදෑසන 9.00 ට පමණ , ගුවන් තොටුපළෙන් පිට වීම සදහා, තම සාප්පුවෙන් පිටතට පැමිණෙමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග්‍රෑම්  01 යි, ග්‍රෑම්  400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

තමන්ට ගුවන් මගින් පැමිණි ගුවන් මගියෙකු විසින් මෙම රත්තරන් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා තමන්ට භාර දුන් බවත් , මෙම කටයුතු ඩුබායි සිටින ව්‍යාපාරිකයෙකු මගින් සම්බන්ධීකරණය කළ බවත්,  මෙම තරුණයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිම් වලදී රේගු නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි

බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ රසික සමන්ජිත් විසින් සිදු කර තිබුණි .

Read more

Local News