ජොන්ස්ටන්ගේ ප්‍රතිශෝධන පෙත්සම නොවැම්බර්යේ විභාගයට

Share

හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් නොවැම්බර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කෙළේය.

එම පෙත්සම අද(23) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය නියම කළේ මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 13 වනදා ඉදිරිපත් කරන ලෙස ජෝස්ටන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයට නියම කළේය.

එම ලිඛිත දේශනාවට අදාළ පිළිතුරු ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 20 වනදා ඉදිරිපත් කරන අධිකරණ ලෙසයි අභියාචනාධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දුන්නෙ.

ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ සේවකයන් 153 ක් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් තමාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සඳහන් කර තිබේ.

එමචෝදනා පත්‍රය ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ බව ඔහු කියා සිටියේය.

කොළඹ මහෙස්ත්‍රාත්වරියගේ තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඒ නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දු නීතිවිරෝධී බවට නිගමනය කර තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙසද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News