මැතිවරණ ව්‍යාපාරය තුළ ආගමික අන්තවාදය පැතිරවීමේ උත්සාහයක්

Share

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ අගමික අන්තවාදී තත්වයන් මතුකර දැක්වීමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී අරියවංශ මහත්මිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන්  මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවිධානාත්මකව අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ඇය පෙන්වා දුන්නාය.

මීට අමතරව  ප්‍රසිද්ධ මැතිවරණ ජනහමු තුළ පවා ආගමික අන්තවාදය මතුකරන ආකාරයේ ප්‍රකාශ ඉස්මතු වෙමින් පවතින බව ද කැෆේ සංවිධානයේ නිරීක්ෂණය බව ආරියවංශ මහත්මිය සඳහන් කරයි.

තමන් කැමති අපේක්ෂකයෙකුට සහය දැක්වීම නිසා ජන වර්ගය, ආගම,භාෂාව හෝ කුලය පදනම් කර ගනිමින් යම් පුරවැසියෙකු, හෝ ජනකණ්ඩායමක්, වෙන්කොට සැලකීම ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය මෙම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

එමෙන්ම  මෙම තත්වය ඉදිරියේදී වාර්ගික ගැටුමක්, දක්වා වූව වර්ධනය කරවිය හැකි අතර එය  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බාධා පමුණුවන බව ද එම ලිපියේ දැක්වෙයි.

මේ වනවිට මැතිවවරණ ව්‍යාපාරය තරමක ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති බවත් ගතවූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රචණ්ඩකාරී තත්වයන් වාර්තා වූ බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.

පවතින ප්‍රචණ්ඩකාරී තත්වය පාලනය කිරීම ප්‍රධාන අපේක්ෂකයින්ගේ වගකීමක් බවත් එය පාලනය නොකරන්නේ නම් ඉදිරියේදී මෙම් තත්ත්වය වර්ධනය වීම බරපතළ කරුණක් බවත් ඇය පෙන්වා දුන්නාය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 286 ක් වන අතර ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් වෙයි.

Read more

Local News