බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට එරට කණ්ඩායමෙන් විරෝධය

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එරට ක්‍රිකට් ආයතනයට විරෝධය පළ කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට තීරණයක් ගැනීම සඳහා පැය 48ක කාලයක් ලබා දී ඇති බව සඳහන්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ප්‍රධාන ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට විරෝධය එල්ල කර තිබේ.

එහිදී ක්‍රීඩකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර ඔවුන්ට ලැබෙන වාර්ෂික කොන්ත්‍රාත් මුදල, ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔවුන්ට වැඩි වටිනාකමක් ලබා දීම වැනි කරුණු ඇතුළත්.

කෙසේ වෙතත් ලබන මස 03 වැනිදා ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වීමට තිබියදී ක්‍රීඩකයන් මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට පෙර ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට තිබුණු බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පවසන්නේ මෙම වර්ජනය සම්බන්ධයෙන් තමන් දැනගත්තේද මාධ්‍ය තුළින් බවයි.

ඒ අනුව බංග්ලදේශ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට තීරණයක් ගැනීම සඳහා පැය 48ක කාලයක් ලබා දී ඇති බව සඳහන් වෙයි.

Read more

Local News