මත්තලට ගිය ගුවන් යානය නැවත කටුනායකට

Share

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලීමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද(24) උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

අද උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමෙන් පසුව , උදෑසන 9.30 ට එහි ගොඩ බස්වා තිබේ.

එම ගුවන් යානයේ ගුවන් මගීන් 127 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටියහ.

ඔවුන්ට මෙම ගුවන් යානයෙන් පිටතට බැසීමට අවසර නොදුන් මත්තල ගුවන් තොටුපළ බලධාරීන් , මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබුණි.

පසුව කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්වය මදක් යහපත් වූ පසු මෙම ගුවන් යානය දහවල් 11.40 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර , එය දහවල් 12.05 ට  පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

Read more

Local News